අලුතින් තේරුණු සොබාදහමේ පුදුම හත

 පුදුම හත සංකල්පයට ඇත්තේ බෝහෝ දිගු ඉතිහාසයකි. කි‍්‍රි.පූ 484 සිට 425 දක්වා වූ කාල පරාසය තුළ ජීවත්වූ හෙරඩෝටස් නමැත්තා හා පූරා කියා ලෝකයේ පුදුම හත නම් කළ අතර
, ඒ සඳහා ඔහු ඉදිරිපත් කලේ මිසර පිරමීඩ, එල්ලෙන උයන, ඔලිම්පියා සියුස් ප‍්‍රතිමාව, ආටෙමීස් දෙවොල, හාලිකනාසස් සොහොන්ගෙය, රාඩෝස් ප‍්‍රතිමාව සහ ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ ප‍්‍රදීපාගාරයයි.
හෙරඩෝටස්ට පසුව ජීවත් වූ කැලිමෑකුස් නැමැත්තාද ඉහත දැක්වූ පුදුම හත ලෝකයේ පුදුම හත ලෙස පිළිගත්තේය.
පුදුම හත යන සංකල්පය ලෝකයට ආවේ එපරිද්දෙන් වූවත් ඉනික්බිතිවද මේ හතට ඉලක්කමක්වත් අලූතින් එකතු වූයේ නැත. ඒ නිසා අදටත් නම් කෙරෙන්නේ පුදුම හතමය!
ඉහතින් නම් කළ පුදුම හතේ එක් එක් පුදුමය විටින් විට විනාශ විය. ඒ එක්කො භූමි කම්පා වලනි. නොඑසේනම් හදිසි ගිනිගැනීම් හේතුවෙනි. කෙසේ හෝ වේවා මේ වනවිට ඉන් ඉතිරිව ඇත්තේ එකම එක පුදුමයකි. ඒ මිසරයේ පිරමීඩයි.
කෙසේ වෙතත් යුගයෙන් යුගයට අලූතින් පුදුම හත නම් කිරීමේ විලාසිතාවක්ද ඇරඹුණි.
මේ වනවිටත් මධ්‍යතන යුගයේ පුදුම හත, නූතන ලෝකයේ පුදුම හත, සංචාරක ආකර්ෂනය දිනූ පුදුම හත, ස්වභාවික පුදුම හත, දිය යට පුදුම හත ආදී වශයෙන් විවිධ වූ පුදුම ගණනාවක් තේරී අවසානය.
මේ අතර 2007 වසරේදී මිනිසුන් විසින් නිර්මිත ලෝකයේ පුදුම හතඅලූතින් නම් කරන්නට යෙදුණි. අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු මහජන ඡුන්ද විමසීමකින් තෝරාගන්නා ලද මේ පුදුම හතට ටජ්මහල, චීන මහා ප‍්‍රකාරය, රෝම රඟමඩල, බ‍්‍රසීලයේ ගැලවුම්කාර ක‍්‍රිස්තු ප‍්‍රතිමාව, මැක්සිකෝවේ ඉටිසා හි මායා නගරය, ජෝර්දානයේ පෙට‍්‍රා රඟහල සහ පේරුරටේ මාචු පීචු ඉන්කා අධිරාජ්‍යයේ නටබු4න් ඇතුළත් විය.
තවත් එබඳුම ඡුන්ද විමසීමක් ඉකුත් වසර කිහිපයක් පුරා පැවැත්විණි. එහි ඡුන්ද ගණනය කිරීම සිදුවූයේ 11.11.11 වැනිදාය. එම දිනයෙහි ඇති සුවිශේෂත්වය නිසාදෝ එදින ඡන්ද ගණනය කර එහි ප‍්‍රතිඵල ප‍්‍රකාශිත දිනය ලෙස තෝරාගන්නට ඇත.
පුදුම හත තේරීමේ ප‍්‍රධාන කාර්යාලය පිහිටි සූරිච්හිදී ඡන්ද ප‍්‍රථිපල එදින නිකුත් කෙරුණු නමුත් එය නිලවශයෙන් නිකුත්කරන්නේ ලබන වසරේදීය. හේතුව මේ ඡන්ද ගණනය නිවැරැදිද යන්න තවමත් පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් තිබෙන නිසාය. කෙසේ හෝ වේවා ඉකුත් 11 දා නිකුත් කෙරුණු ප‍්‍රථිපල වාර්තාවට අනුව සොබාදහමේ අලූත්ම පුදුම හත ලෙස මහජන ඡන්දයෙන් තේරී පත් වූ පුදුම හත මෙන්න.
ඇමේසන්, හැලෝංග් බොක්ක, ඉගුවාසු ඇල්ල, ජේජු දුපත, කොමොඩෝ දුපත හා ජාතික වනෝද්‍යානය, පූර්ටෝ සෙන්සෙසා භුගත ගංගාව, ටේබල් මවුන්ටන්.
මෙතෙක් කලක් සම්මතව පැවති සොබා දහමේ පුදුම හත මෙසේය.
ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ජනපදයේ පිහිටි ග‍්‍රෑන්ඞ් කැනියන් මහා දොරුව.
ඕස්ටේ‍්‍රලියාවේ ක්වින්ස්ලන්තයේ වෙරළ බඩ පිහිටි ලෝකයේ විශාලතම කොරල්පරය වන මහා බාධක පරය,
බ‍්‍රසීලයේ මුහුදු තීරයේ පිහිටි රියෝද ජැනයිරෝ වරාය.
ලෝකයේ උසම කන්ද වන හිමාල කඳුවැටියේ එවරස්ට් කඳු මුදුන ආක්ටික් හා ඇන්ටාක්ටික් ධ‍්‍රැවයේ අරුණලූ.
මෙක්සිකෝවේ පිහිටි මීටර් 3170 ක් උස පැරි කි්‍යුටින් ගිනිකන්ද සිම්බාබ්වේ සහ සැම්බියාවට අයත් සැම්බෙසි ගංගාවේ විශ්මිත නිර්මාණයක් වන වික්ටෝරියා දිය ඇල්ල.
එහෙත් අලූතින් තේරුණු පුදුම හත කලින් තිබුණු පුදුම හතට වඩා වෙනස් වී තිබේ. කලින් පුදුම අලූත් පුදුම ඉදිරියේ පසුපසට තල්ලූ වී තිබේ.

කෙසේ හෝ වේවා අලූතින් තේරුණු පුදුම හතේ අපූරු විස්තර මෙසේය.



ඇමේසන්


ඇමේසන් වැසි වනාන්තරය මෙන්ම ඒ මැදින් ගලනා ඇමේසන් නදියද විශ්මයකි. දකුණු ඇමෙරිකාවේ ඇමේසන් නදී නිම්නය ආවරණය කරන අමේසන් වනාන්තරය බ‍්‍රසීලය, පේරු, වෙනිසියුලාව, කොළොම්බියාව, ප‍්‍රංශ ගයනාව, ඉක්වදෝරය, බොලීවියාව, ගයනාව, සහ සූරිනාමය යන රටවල් පුරා පැතිර ඇත්තේය. ඒ නිසාම ලෝකයේ ලොකුම වැසි වනාන්තරය වන්නේ ඇමේසනයයි.
එමෙන්ම ලෝකය පුරා පැතිරුණු සියළු වැසි වනාන්තර වල එකතුවෙන් අර්ධයක්ම වැසී යන්නේ ඇමේසනයෙනි.
වසර මිලියන ගණනක් තිස්සේ නිර්මාණය වූ ඇමේසන් වනය විවිධාකාර සත්ත්ව සමූහයකගේද වාස භවනයයි. යෝධ කුහුඹු කන්නා, ටේපරයා, ජගුවරයා ඇලිගේටරයා, පීරන් හා මත්ස්‍ය, ඇතුළු විවිධාකාර සත්ත්ව සමූහයකගේද වනචාරී මිලේච්ඡයන්ගේද වාසභූමියක් වන ඇමෙසන් වනය මැදින් ගලායන ඇමේසන් නදිය ලෝකයේ ලොකුම නදියයි. එසේම ලෝකයේ දිගම ගඟ වන්නේද ඇමේසන් ගඟ බව ඉකුත් දා කරන ලද ගවේශනයකින් හෙලිදරව් විය.
ඉතින් මේ හරිත වනය ලෝකයේ ලොකුම පුදුමයක් වීම කිසිසේත්ම පුදුමයක් නොවේ.

ඉගුආසු ඇල්ල

බ‍්‍රසීලයේ දකුණු දිග කලාපයටත් ආර්ජන්ටිනාවේ මිඩියන්ස් පලාතටත් අයත් ඉගුආසු ඇල්ල, ඉගුආසු ගංගාවේ පිහිටි දර්ශණීයතම ඉසව්වකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආශ්චර්යයක් වන ඉගුආසු, දිය ඇලි සංකීර්ණයකි. මී. 2700 ක් පළල මේ ඇල්ල ලොකු කුඩා දිය ඇලි 270 ක එකතුවකි. ඇල්ලේ පළලින් මීටර් 1900 ක් බ‍්‍රසීලයටත් ඉතිරිය ආර්ජන්ටිනාවටත් අයත් වෙයි. මෙහි උසම ඇල්ලේ උස මීටර් 82 ක් වන අතර බහුතරයක උස මීටර් 64 ක් පමණය.
ඉඟුආසු ඇල්ලේ ප‍්‍රධානතම ඇල්ල වන්නේ යක්ෂයාගේ උගුරයි. පලල මීටර් 150 ක් ඉක්මවන මේ යක්ෂ උගුර ඉංග‍්‍රීසි ‘යූ’ අකුරේ හැඩය ගන්නකි. මෙම ඇල්ල පිහිටා ඇත්තේ බ‍්‍රසීලයත් ආර්ජන්ටිනාවත් වෙන්කරන මායිමේය.
තත්ත්පයකට ලීටර් 15000 තරම් ජල ප‍්‍රවාහයක් ඇද හැළෙන මේ අපූරු ඇල්ල අභියස වික්ටෝරියා ඇල්ලත් නයාගරාවත් දෙවැනි වෙයි.
ඉගු ආසු ඇල්ල වටකොටගත් වන රක්ෂිතය ජගුවරයින් යෝධ කුහුඹු කන්නන් වැනි ඇමේසන් වන කලාපයට අයත් අපූරු සතුන්ගේද නිජබිමකි.

හා ලොන්ග් බොක්ක

වියට්නාමයට අයත් හාලෝන්ග් බොක්ක නිසල ජල තලයකටත් හුණු ගල් කඳුගැටයකටත් උරුම කියන්නකි. වසන්තයේදී බෙහෙවින් පැහැපත් වන බොක්කේ ජලය නිසා මුහුදු පතුලේ සිරි නරඹමින් පිහිනන්නටද පුළුවන. විසිතුරු ගල්ගුහා රැුසකට උරුම කියන හා ලෝන්ග් බොක්කේ ලොකුම ගුහාව සන් ෂොට් වන අතර බෝ නඋ ඊට වඩා තරමක් ප‍්‍රමාණයෙන් කුඩා ගුහාවකි.
අතිශය විසිතුරු දර්ශනයක් මවන මේ අපූරු මුහුදු තීරය මේ වනවිට අධික සංචාරක ආකර්ශනයක් ලබාගන්නේය. තවත් සමහරු මෙහි එන්නේ දියයට පිහිනීමටය. මුහුදු පත්ලෙහි ඇති විසිතුරු කොරල් පරය නිසා මුහුද යට පිහිනන්නකුට මෙලොව ඇති පරම රමණීය සුන්දරත්වය මොනවට දැක බලා ගත හැකිය.

කොමොඩෝ


බාලි දිවයිනට නාවික සැපතපුම් 200 කට ඔබ්බෙන් පිහිටි කොමොඩෝ ජාතික උද්‍යානය මේ ලෝකයෙන් සපුරාම වෙනස් වූවක් වැන්න. වර්තමානයේ යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙසද ප‍්‍රකාශයට පත්කරන ලද කොමොඩෝව වඩාත්ම සුවිශේෂ වී ඇත්තේ කොමොඩෝ මකරුන් නිසාවෙනි. මුළු ලෝකයෙන්ම කොමොඩෝ මකරුන් සිටින්නේ කොමොඩෝ දිවයිනේ පමණකි.

ටේබල් මවුන්ටන්

ටේබල් මවුන්ටන් ලෙස නම් කරන ලද කඳු ලෝකයේ බොහෝ ඉසව් වල ඇතත් ලෝක පුදුමයක් ලෙස සැලකෙන්නේ දකුණු අප‍්‍රිකාවේ කේප්ටවුන් හි පිහිටි මේ නම්ගත් කඳුවැටියයි.
උතුරේ සිට දකුණට විහිදුනු කඳු වැටියේ මුදුන් ගණනාවක් විවිධ නම් වලින් හඳුන්වති. සිංහ හිස, මේස කන්ද, යක්ෂයා ගේ කන්ද රිදී මුහුණත ඉන් ප‍්‍රධානතම කඳු හිස්ය.
විවිධ වර්ණවත් මල්වලින් නැහැවුණ කඳු යායක් මිටියාවතක් වසන්තයේදී සංචාරක නෙත් සිත් වසඟ කරන සුළුය.
පැතිරුණු වනාන්තරය සිංහයන්ගේද දිවියන්ගේද, සිවලූන්ගේ ද අප‍්‍රිකානු පඳුරු අලින්ගේද කළු රයිනෝසිරසුන්ගේ ද කඳුකර සීබ‍්‍රාවන්ගේද නිජබිමයි.

පූවර්වෝ ප‍්‍රින්සෙසා

පූවර්වෝ ප‍්‍රින්සෙසා භුගත ගංගාව සහිත ජාතික වනොද්‍යානය පිහිටියේ පිලිපීනයේ පූවර්වෝ ප‍්‍රින්සෙසා නගරයට කි.මි 50ට පමණ ඔබ්බෙනි. ශාන්ත පෝල් කඳුකරයට උතුරු දිගින් පිහිටි මේ ජාතික වන උයන ශාන්ත පෝල් බොක්ක මායිමේ පිහිටියේය.
මෙම වනෝද්‍යානයේ සුවිශේෂතම අංගය කි.මි 8 ක් දුරට විහිදුනු භුගත ගංගාවයි. එවැනි දුරකින් යුත් භූගත ගංගාවක් ලෝකයේ තවත් කොතනකින් වත් වාර්තා නොවන නිසාදෝ මෙය ලෝක පුදුමයක් ලෙස නම් කරනු ලැබීය.
යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ද නම් කරනු ලැබූ මේ භූගත ගඟ සහිත ජාතික වනෝද්‍යානය සුන්දර වනගහනයකි. කුරුලූ විශේෂ 165 ක් ක්ෂීරපායි විශේෂ 30ක් උරග විශේෂ 19 ක් ආදී වශයෙන් වාර්තා වන මෙහි කටුස්සො ගෙම්බන් මෙන්ම මකුළුවෝද කැස්බෑවෝද වාසය කරති.

ජේජු දුපත

දර්ශණීය දියඇලි තුනක ජන්ම භූමිය වූ ජේජු දුපත දකුණු කොරියානු අර්ධද්වීපයට අයත් වූවකි. වැලි සහිත දිගු වෙරළවල් මෙන්ම සොඳුරු වනගහනයකින් ද යුත් ජේජු දුපත මේ වනවිටත් දැඩි සංචාරක ආකර්ශනයක් දිනාගෙන ඇත. විවිධ වර්ග වල මැණික් වලටද උරුමකම් කියන මේ අපූරු දුපත සීත සෘතුවේ දී අධික ශීතල දේශගුණයකින් යුක්තයි.
මීටර් 1950න් යුත් මහල් කඳු මුදුනක්ද තවත් යමහල් කිහිපයක්ද ඇති ජේජු දුපතේ පිහිටි හලසැන් ජාතික වනෝද්‍යානය යුනේස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර තිබේ
කිමිදෙන්නන්ට ලෝකයේ තිබෙන සුන්දරම මුහුදු පතුල දැකගැනීමටද වරම් ලැබෙන ජේජු දුපත අවට කොරල් පර අසල විසිතුරු මසුන් බහුලය.
මෙකී නවතම පුදුම හත හේතුවෙන් මේ ස්ථානවලට මෙතෙක් නොවූ විරූ අන්දමේ සංචාරක ආකර්ශනයක් උරුම වෙයි. ඒ නිසාම මේප‍්‍රදේශ වලට යටිතල පහසුකම් සැපයීමෙන් යහපත් ආර්ථිකයක් ගොඩ නඟා ගැනීමටද ඒ රටවලට පුළුවන්.
මේ නවතම පුදුම හත පිළිබඳව මහත් උත්සව ශ්‍රීයෙන් කෙරෙන ප‍්‍රකාශයක් ඉදිරි මාස දෙක තුන ඇතුලත සිදුවන බව පැවසේ.
සොබාදහමේ මේ පුදුම හතට වඩා පුදුම සහගත පුදුම ලෝකයේ තවත් තිබෙතැයි සමහරු චෝදනා කළ හැකිය. එහෙත් මේ පුදුම හත තෝරාගෙන ඇත්තෙ මිලියන සංඛ්‍යාත ඡන්ද වලින් බැවින් මේ ප‍්‍රතිඵල සාධාරණයැයි අපට පිළිගන්නට සිදුවේ.






ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න